IESL College of Engineering (IESLCE) අර්බුදය වහා විසඳා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) රැකගනිමු!

ශ්‍රී ලංකාව තුල ඉංජිනේරු වෘත්තීය සුදුසුකම නියාමනය කිරීම සදහා පිහිටුවා ඇති පරම ආයතනය වන්නේ 1906 වසරේදී පිහිටවූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයයි (IESL). ඉංජිනේරු අධ්‍යාපනයේ අන්‍යෝන්‍ය පිළිගැනීම පිලිබඳ අන්තර්ජාතික  ස්වර්ණමය ප්‍රමිතිය වන වොෂින්ටන් සම්මුතිය (Washington Accord) හිමිකර ගැනීමට තරම් IESL ආයතනයේ ගුණාත්මක බව ඉහලය.

නමුත් මෑතක සිට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ස්වකිය ජාතික නියාමන කාර්යභාරයෙන් බැහැරව එහි කලින් සිටි සභාපති වරුන් කිහිපදෙනෙක් ඇතුළු කුඩා කණ්ඩායමකගේ ගේ පටු ආර්ථික පරමාර්ථ මුදුන් පත්කරවීම සදහා පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක තත්තවයට පහලට ඇද වැටී ඇත. එනම් IESL යටතේ IESL College of Engineering (IESLCE) යන ඉංජිනේරු ඩිප්ලෝමා ලබාදෙන උප ආයතනයක් පිහිටුවා, පවත්වා ගෙනයාම කරනු ලබයි. ඉංජිනේරු අධ්‍යාපනය හා ඉංජිනේරු වෘත්තීයය නියාමනය කරන ජාතික ආයතනය වන IESL  ආයතනය විසින්ම  තමන් යටතේ ඉංජිනේරු අධ්‍යාපනය ලබාදෙන තවත් ආයතනයක් පවත්වාගෙන යාම සම්මත වෘත්තීය ආචාරධර්ම වලට පටහැනි වන අතරම පැහැදිලි ලෙසම බැඳියා පිළිගැටුමක් (Conflict of Interest) ඇතිකරවයි. මෙසේ සළකා බලන විට IESLCE පිහිටුවිමට IESL ආයතනය ගත් තීරණය  මුලික සංකල්පයක් ලෙසම අතිශයින් වැරදි සහගතය. එසේම IESL ආයතනයේ ගෞරවනීය යහපැවැත්ම සදහා මෙම වරද හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුමය.

උසස්පෙළ ප්‍රථිපල මත පිළිවෙලින් ශ්‍රේණිගතකර නිසි ලෙස තෝරාගෙන දැනට සිදුකෙරෙන පුර්ණකාලින විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව යමෙකුට හිමිවන ඉංජිනේරු උපාධිය, IESL ආයතනයයෙන් ලබාදෙන AMIESL තත්වය ලබාගැනීමට මුලික සුදුසුකමකි. ඉංජිනේරු උපාධිය නොහැදෑරු තාක්ෂණික ක්ෂේත්‍රයයේ ඩිප්ලෝමාධාරීන්ට පවා අදාළ අමතර විභාග සමත් වීමෙන් පසුව AMIESL තත්වය හිමි කරගත හැක. නමුත් මෙම IESLCE පෞද්ගලික ආයතනයේ ඩිප්ලෝමාව හැදෑරු පමණකින්ම යමෙකු නිවැරදි ක්‍රමවේදය මගහැර AMIESL තත්වය වෙත යාමට අනිසි කෙටි මගක් විවෘත කර දීමට තරම IESLCE වෙනුවෙන් කටයුතු කරන IESL බලධරයින් උපක්‍රමශීලි වී ඇත. මෙසේ කර ඇත්තේ ගුණාත්මක බවින් අඩු පාඨමාලාවකට සමාජය තුල ඉහල කෘතීම වෙළද වටිනාකමක් ඇතිකිරීමටයි. ඉතා තරඟකාරී ක්‍රමවේදයක් ඔස්සේ එනම් පේරාදෙණිය, මොරටුව, රුහුණ හා විවෘත විශ්වවිද්‍යාලය යන රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ලබාදෙන ඉංජිනේරු උපාධිය ලබාගෙන හෝ HNDE, NDT, TTI වැනි ඉංජිනේරු ඩිප්ලෝමා ලබාගෙන හෝ අසීරුවෙන් AMIESL තත්වය ලබාගන්නා සිසුන්ට මෙමගින් සිදුවන්නේ මහත් අසාධාරණයකි.

මෙහි වරද දෙගුණ, තෙගුණ වන්නේ IESLCE ආයතනය මුල සිටම ක්‍රියාත්මක වන අඩු ප්‍රමිති තත්වය හේතු කොට ගෙනයි. පළපුරුදු ආචාර්ය වරුන්ගේ හිඟය, නිසි පරීක්ෂණාගාර පහසුකම් හා දේශනාගාර පහසුකම් නොමැති වීම  IESLCE ආයතනයේ මුල සිටම පෑවතී අඩු පාඩුය. මෙසේ වන්නට ඇත්තේ අඩු වියදමකින් මෙම පාඨමාලාව පවත්වා ගෙනගොස් වැඩි ලාභයක් ලබාගැනීමට අදාළ බලධරයින් කටයුතු කළ නිසා වියහැක.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) වශයෙන් අප මෙම අර්බුදය නිසි ලෙස හදුනාගෙන සිටින අතරම මේ සදහා නිසි විසදුම් වහාම ලබාදෙන ලෙස  IESL ආයතනයේ වත්මන් බලධාරින්ගෙන් බලකර ඉල්ලා සිටි. අපගේ මතය වන්නේ IESLCE ආයතනය IESLහී භාරකාරත්වයෙන් හා පරිපාලනයෙන් පුර්ණ ලෙස ඉවත් කළ යුතු බවයි. දැනට අනිසි ලෙස ලබාදෙන AMIESL තත්වය වහාම අත්හිටුවිය යුතුය. IESLCE ආයතනය හා එම පාඨමාලාව නැවත වරක් පොදු ක්‍රමවේදයන් ඔස්සේ IESL ආයතනය මගින් පුර්ණ ලෙස නියාමනය කර එහි නිසි තත්වය නිවැරදිව ශ්‍රේණියේ ස්ථානගත කළ යුතුය.

SLEA අප, මෙහිදී කටයුතු කරන්නේ වෘත්තීය ඉංජිනේරුවන් වන අපගේ ප්‍රමුඛ ආයතනය වන IESL කෙරෙහි ඇතිකරගත් ද්වේශයකින්වත්, මෙරට ක්‍රියාත්මක වන පුද්ගලික අධ්‍යාපනය කෙරෙහි දක්වන අන්තවාදී විරෝධයකින්වත් නොවන බව අවධාරණය කරමු. එලෙසම IESLCE හී දැනට  අධ්‍යාපනය ලබන දරු, දැරියන් අතරමග අතරමං නොකර අදාල විසදුම් සදහා කඩිනමින් යොමුවියයුතු බව අපි ඕනෑකමින් කියා සිටින්නෙමු.

IESLCE ආයතනය පිළිබඳව අප  ඉහත යෝජනා කල ධනාත්මක වෙනස්කම් IESL ආයතනය මගින් කඩිනමින් ඉටුකරන  ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය අවධානයෙන් බලා සිටින බව අපි අවධාරණය කරමු.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA)